මම ආදරය කරපු මේ වැස්සට අද මම ශාප කරනවා

// // Leave a Comment

අහස කළුවර වෙනකොටම මම දන්නවා
ඒ වහින්න තමයි කියලා
වැස්සට නොතමෙන්න හිතාගෙන මුවා වුණ මම
මහ වැස්සට මැදිව පුංචි කුඩයක් යටින් එන ඔබව දැක්කේ
හරියට මේ වැහි අඳුර දුරු කරන්න ආපු සුරඟනක් වගේ
නොහිතුවා වගේම වැස්සට මැදිව ආපු ඔබ
මගේ ලඟින්ම රැඳෙද්දි වැස්සට නොතෙමුනු මම
ඔබේ කුඩෙන් එන දිය පහරට තෙමුනා...
ඒ දිහා බලන් ඉඳපු ඔබ මා දෙස බලා සිනාසුනා
මට තවම මතකයි

අපේ ආදර කතාව ඇරඹුම
එතැනින් සටහන් වෙද්දි මම
එදා ඉඳන්ම වැස්සට ආදරය කලා ...
වහින හැම මොහොතකදීම මම
ඒ වැස්සට ආදරය කලා
ඔබට වගේම මට ඔබව හිමිකරදුන්
මේ වැස්ස මගේ ජීවිතය වුණා
එදා ඔබ විතරක් තනිවුනු ඒ පුංචි කුඩයට
අපි දෙන්නාම යන හින්දාම
දැන් තනියක් නැතිවෙන්න ඇති

ඔබව මුණ ගැසෙන හැම දිනකම
මම අහස දිහා බලාගෙන වහින්න ප්‍රාර්ථනා කෙරුවේ
ඒ වැස්සට ඔබත් එක්ක ඔබේ ඔය
පුංචි කුඩෙන්  යන්න මට තිබුන ආශාවට විතරමයි

කාලයත් එක්කම මේ වැස්ස මට හරස් වුනේ
ඇයි කියන්න මට නොරෙත්රුනාට
මට වඩා ඔබට තේරැම් ඇති යැයි මම හිතනවා
ආදරණීය අතීත සැමරුම් බොහොමයක් එක්ක
මම තවමත් එදා වැස්සට නැවතුන තැන අදත් ඉද්දි
ඔබ එදා මා නැහැවූ ඒ පුංචි කුඩෙන් තව අයෙක්ට
සෙවන දෙද්දි කුඩයක් නැතිව
මම අද මේ වැස්සට තෙමෙනවා

මේ වැස්ස ඔබ මා එක් කලා සේම වෙන්කෙරූ බවද මම දන්නවා
එදා මම ආදරය කරපු මේ වැස්සට අද මම ශාප කරනවා ...